අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගැනීම පාපයක් නොවේ ! 😇

birth control/contraception

උපත් පාලන ක්‍රම (birth control/contraception) භාවිතා කිරීමට විරුද්ධව, නොයෙකුත් ආගමික සහ සංස්කෘතික බලපම් තිබුණත්, ඔබට ගැළපෙන උපත් පාලන ක්‍රමයක් භාවිතා කිරීම සඳහා ඔබට ඇති අයිතියට, කිසිවෙකුටත් විරුද්ධ විය නොහැකියි. 😌

උපත් පාලන ක්‍රම (birth control/contraception) භාවිතා කිරීමේ වැදගත්කම කුමක්ද ? 🤔

✅ දරු උපත් ප්‍රමාද කිරීම සහ අනවශ්‍ය කාල වල දී සිදුවන දරු උපත් නවත්වා ගැනීම.

ලිංගිකව සක්‍රිය යුවලක්, අනාගතයේ යම් කාලයක දරු උපතක් බලාපොරොත්තු වුණත්, ආර්ථික හෝ සමාජයීය ගැටලු නිසා දරුවන් ලැබීම ප්‍රමාද කරන්නට පුළුවන්. මේ සඳහා තාවකාලික උපත් පාලන ක්‍රම භාවිත කළ හැකියි. එසේ භාවිතා කරන උපත් පාලන ක්‍රම නිසා, දරුවන් ලැබීමට හැකියාව ට කිසිම හානියක් වෙන්නේ නැහැ. ගැබ් ගැනීම ප්‍රමාද වෙනවා පමණයි. ⏱️

✅ දරු උපත් දෙකක් අතර කාලසීමාව දීර්ඝ කිරීමට.

ගර්භනී කාලයේ සහ දරු උපතේ වෙහෙසකර බව නිසා, එක් දරු උපතකින් පසු මව කායිකව සහ මානසිකව පීඩාවකට පත් වෙනවා. ඒ වගේම මවගේ ශරීරයේ ඇති පෝෂක ප්‍රමාණය පවතින්නේ අඩු මට්ටමකයි. 🤰

දරු උපත් දෙකක් අතර කාලසීමාව , උපත් පාලන ක්‍රම භාවිතා කර වැඩි කිරීම මඟින්, මවගේ ශරීරයට ප්‍රකෘති තත්ත්වයට පත්වීමට සහ, පෝෂක ප්‍රමාණය වැඩි කර ගැනීමට ඉඩ සැලසෙනවා.

මේ නිසා මවට ගර්භණී කාලයේ දී ඇතිවන සංකූලතා සහ, කලල අවධියේ දී දරුවාට ඇතිවන සංකූලතා අඩු වෙනවා. මළ දරු උපත් සහ ළදරු මරණ ඇතිවීමේ අවදානම අඩු වෙනවා. අලුතින් උපදින දරුවාගේ නිරෝගී භාවය වැඩි වෙනවා.

ඒ වගේම, දෙවන ළදරුවාට කිරි දීමට සහ රැක බලා ගැනීමට විශාල කාලයක් ගත වී, වැඩිමල් ළදරුවාට අවශ්‍ය කාලයේදී ලැබිය යුතු අවධානය නොලැබී යාමේ අවදානමත්, උපත් පාලන ක්‍රම භාවිතයෙන් වැළකෙනවා.

✅ පවුල සම්පූර්ණ වූ පසු දරුවන් ලැබීමේ හැකියාව නතර කිරීම

ලිංගික සහකරුවන් දෙදෙනෙකු විසින්, ඔවුන්ගේ කැමැත්ත පරිදි හෝ, ආර්ථික සමාජයීය කරුණු නිසා හෝ, ලැබී ඇති දරුවන් ගණන ප්‍රමාණවත් යැයි තීරණය කළ විට, තවදුරටත් දරුවන් ලැබීමේ හැකියාව නතර කිරීම සඳහා, ස්ථිර උපත් පාලන ක්‍රම භාවිතා කිරීමට පුළුවන්.

භාවිතා කළ හැකි උපත් පාලන (birth control/contraception) ක්‍රම මොනවාද ? 🤔

ශ්‍රී ලංකාවේ සමාජය තුළ, උපත් පාලන ක්‍රම ගැන නිවැරදි දැනුවත් භාවයක් නොතිබීම විශාල ගැටළුවක්. විශේෂයෙන් කාන්තාවන්, තමන්ගේ ශරීරය ගැන සහ , ගැබ් ගැනීමේ හෝ නොගැනීමේ තීරණය පාලනය කිරීම සඳහා, උපත් පාලන ක්‍රම ගැන දැන ගැනීම ඉතා වැදගත්.

තාවකාලික උපත් පාලන ක්‍රම

💠 කොන්ඩමය – ප්‍රාණවත් වු ශිෂ්ණය වැසෙන පරිදි පළඳින රබර් කොපුව නිසා , ශුක්‍ර තරලය කාන්තාවගේ යෝනි මාර්ගය තුළට නොවැටී, කොන්ඩමය තුළ එකතු වෙනවා.

💠 පවුල් සංවිධාන පෙති (Oral Contraceptive Pills ) – පැකට්ටුවක අඩංගු පෙති 28, දිනකට පෙත්ත බැගින් දිනපතා නොකඩවා ගත යුතුයි.

💠 ඩිපෝ ප්‍රොවේරා එන්නත (DMPA injection ) – දින 90කට වරක්, නොකඩවා මෙම එන්නත ලබාගත යුතුයි.

💠 ඉම්ප්ලාන්ට් තැන්පතුව – කාන්තාවන්ගේ උඩු බාහුවේ සමට යටින් කුඩා කරල් එකක් හෝ දෙකක් ලෙස තැන්පත් කරනවා.

පවුල් සංවිධාන පෙති, ඩිපෝ ප්‍රොවේරා එන්නත සහ ඉම්ප්ලාන්ට් යන ක්‍රම තුනම මඟින්, ඩිම්බ මේරීම සහ පිට වීම වළක්වනවා. ගැබ්ගෙල ශ්‍රාවයන් ගේ ඝණ භාවය වැඩි කර, ශුක්‍රාණු ගර්භාෂය තුළට ඇතුළුවීම අපහසු කරනවා.

💠 ලූපය – කාන්තාවන්ගේ ගර්භාෂය තුළ තැන්පත් කරන කුඩා ප්ලාස්ටික් මෙවලමක්. ඩිම්බය ශුක්‍රාණුව සමඟ සංසේචනය වීම සහ, සංසේචිත ඩිම්බය ගර්භාෂය තුළ තැන්පත් වීම වළක්වනවා.

ස්ථිර උපත් පාලන ක්‍රම

💠 කාන්තාවන් සඳහා LRT සැත්කම – ඩිම්බ කෝෂයෙන් මුදාහරින ඩිම්බ, ගර්භාෂයට ගෙන යන්නේ පැලෝපීය නාල මඟිනුයි. මෙම සැත්කමේදී උදරයේ පහළ කොටස හිරි වට්ටවා, සුළු කැපුමක් තුළින්, පැලෝපීය නාල අවහිර කරනු ලබනවා.

💠 පුරුෂයින් සඳහා වාසෙත්කමි සැත්කම – වෘෂණවල සිට ශුක්‍රාණු ගෙන යන්නේ ශුක්‍ර නාළ මඟිනුයි. මෙම සැත්කමේදී, වෘෂණ කෝෂ වල දෙපැත්තෙන් සම හිරි වට්ටවා, කුඩා සිදුරක් තුළින් ශුක්‍ර නාළ අවහිර කරනු ලබනවා. ඉන් පසු පිටවන ශුක්‍ර තරලයේ, ශුක්‍රාණු අඩංගු වෙන්නේ නැහැ.

මෙම එක් එක් පවුල් සැලසුම් ක්‍රමය ගැන, විස්තර ඇතුව ලිපි පෙළක්, ඉදිරියේදී ඉදිරිපත් කිරීමට, අප බලාපොරොත්තු වෙනවා.

guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x
Scroll to Top