ගර්භණී සමයේ දියවැඩියාව ගැන දැනගනිමු !

Diabetes in pregnancy

ඔබේ කුස තුළම දරුවා මිය යාමේ අවදානමක්, ගර්භණී කාලයේදී දියවැඩියාව (Diabetes in pregnancy) හැදෙන අම්මා කෙනෙක්ට තියෙනවා කියලා දන්නවාද  ?

මේක වළක්වාගෙන නිරෝගී දරු උපතක් ලබා ගන්නේ කොහොමද කියලා, මේ ලිපියෙන් ඔබට දැනගන්න පුළුවන් !

කලින් දියවැඩියාව තියෙන බවට හඳුනා නොගත් කාන්තාවකට වුණත්, ගර්භණී කාලයේදී ඇඟේ ඇතිවෙන වෙනස්කම් නිසා, දියවැඩියාව ඇතිවෙන්න පුළුවන්.

මේ බව ගොඩක් වෙලාවට අඳුනා ගන්නේ සති 28න් කරන OGTT සීනි පරීක්ෂාවේදීයි. මෙහෙම ගර්භණී කාලයේදී දියවැඩියාව හැදුණොත්,

⚠️️ කුස තුළදීම දරුවා හදිසියේ මිය යා හැකියි. ඒ නිසා සති 32න් පසුව දරුවා දඟලන වාර ගණන නිවැරදිව චලන සටහන් පතක ලකුණු කරලා, දරුවාගේ දැඟලීම අඩුයි නම් හෝ බොහෝ වේලා යනකන් දඟලන්නේ නැත්නම්, වහාම රෝහලකට යන්න ඕනි !

  • ⚠️️ අසාමාන්‍ය වර්ධන වේගය නිසා දරුවා නියමිත ප්‍රමාණයට වඩා විශාල වීම, දරුවාගේ උපත් බර අධික වීම
  • ⚠️️ සාමාන්‍ය දරු උපතක් වෙනුවට සිසේරියන් සැත්කමක් සිදු කළ යුතු වීමේ හැකියාව
  • ⚠️️ ගර්භාෂයේ වතුර වැඩි වීම

දියවැඩියාව තියෙන බවට හඳුනාගෙන තියෙන කාන්තාවක්, ගර්භණී වුණොත්, මවට සහ බිළිඳාට සංකූලතා ඇතිවෙන්න පුළුවන්.

Diabetes in pregnancy වල සංකූලතා තමයි,

  • ⚠️️දරුගැබ ගබ්සා වීමේ හෝ උපත් ආබාධ ඇතිවීමේ අවදානම ඉහළ යාම
  • ⚠️️ මුත්‍රා ආසාදන හා යෝනි මාර්ගයේ දිලීර රෝග, ඒ කියන්නේ සුද යාම වගේ තත්ත්ව ඇති වීම
  • ⚠️️ මීට අමතරව ගර්භණී අම්මාට, pre-eclampsia ලෙස හඳුන්වන අධි රුධිර පීඩන තත්ත්වය, අක්ෂි ආබාධ, ඇතිවෙන්න පුළුවන්.

දියවැඩියාව තිබෙන කාන්තාවකට නිරෝගී දරුවකු ලැබීමේ හැකියාවක් නැද්ද ?

ඔබට දියවැඩියාව තිබුණත් නිරෝගී දරුවකු බිහි කරන්න පුළුවන්. නමුත් ගර්භණී කාලයේදී ඇතිවිය හැකි ගැටලු වළක්වා ගන්න නම්, දරුවෙකු හදන්න උත්සාහ කිරීමට පෙර, දරු උපත සැලසුම් කිරීම ඉතා වැදගත්.

විශේෂයෙන් උපත් ආබාධ ඇතිවීමේ වැඩිම අවධානම තියෙන්නේ, ගර්භණී කාලයේ පළමු දින 42 තුළයි. මේ කාල පරාසය තුළ බොහෝ කාන්තාවන්, තමන් ගර්භනී බව නොදන්න නිසා, දියවැඩියාව පාලනය වීමක් සිදුවන්නේ නැහැ.

නිරෝගී ගර්භණී භාවයක් සඳහා සැලසුම් කරන්නේ කොහොමද ?

1) ගැබ් ගැනීමට උත්සාහ කරන්න පෙර කාර්යක්ෂම උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න. මේ පිළිබඳව ඔබට වෛද්‍යවරයෙකුගෙන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන්, ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන්, පවුල් සැලසුම් කාර්යාංශයෙන් උපදෙස් ලබා ගන්න පුළුවන්.

2) දරුවෙකු හැදීමට උත්සාහ කරන්න පෙර ඔබේ රුධිරයේ සීනි මට්ටම දීර්ඝකාලීනව පාලනය කළ යුතු වෙනවා. මේ සඳහා වෛද්‍යවරයා ඇතුළුව, ආහාර රටාව සහ දියවැඩියාව පාලනය ගැන උපදෙස් ලබාදෙන කණ්ඩායමක් ඔබට සහාය වෙනවා.

  • ඒවගේම රජයේ රෝහල්වල ප්‍රසව හා නාරි ඒකක වලින් ඔබට අවශ්‍ය ප්‍රතිකාර සහ උපදෙස් ලබා ගන්න පුළුවන්.
  • මීට අමතරව දරුවන් හැදීමට බලාපොරොත්තු වන යුවළවල් සඳහා, සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල මඟින් සායන පැවැත්වෙනවා.
  • දරුවෙකු හදන්න උත්සාහ කරන්න මාස 6කට වත් පෙර, මේ විදිහට ප්‍රතිකාර සහ සෞඛ්‍ය උපදෙස් ලබාගැනීම සිදුකළ යුතුයි.

3) ගැබ් ගැනීමට මාස තුනකට පෙර සිට දිනපතා ෆෝලික් අම්ල පෙත්තක් ලබා ගැනීමෙන්, සමහර උපත ආබාධ ඇතිවීමේ අවදානම අඩු කරන්න පුළුවන්.

  • ඔබට දියවැඩියාව තිබෙනවා නම් වෛද්‍යවරයා විසින්, ඔබට ඉහළ මාත්‍රාවක දිනපතා පෝලික් අම්ල පෙත්තක් නියම කරනවා.

4) ඔබ දැනට ගන්නා සියලුම බෙහෙත් වෛද්‍යවරයාට පෙන්වා, ඒවා ආරක්ෂිත බව තහවුරු කරගන්න. හේතුව දියවැඩියාවට ගන්නා සමහර බෙහෙත් වලින් දරු ගැබට හානි සිදුවෙන්න පුළුවන්.

5) ඔබට දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා තිබෙනවාදැයි පරීක්ෂා කරගන්න, ඇස්, වකුගඩු, ස්නායු පරීක්ෂාවන් සහ රුධිර පීඩන පරීක්ෂා සිදු කරගන්න. ගැබ් ගැනීමට පෙර ඔබේ සෞඛ්‍ය ගැටලු වලට ප්‍රතිකාර ගැනීම වැදගත්.

6) ගැබ් ගැනීමට පෙර නිරෝගී බරක් පවත්වා ගත්තොත්, ගර්භනී කාලයේදී ඇතිවෙන සෞඛ්‍ය ගැටලු අඩුවෙනවා. මේ සඳහා ඔබට පෝෂණවේදියෙකුගෙන් උපදෙස් ගන්න පුළුවන්.

සැලසුම් නොකරන ලද ගැබ් ගැනීමකදී මොකද කරන්නේ ?

දරු උපත සැලසුම් නොකළ පමණින්, දරුවා නිරෝගී නොවන බව අදහස් වෙන්නේ නෑ. නමුත් දියවැඩියාව ඉක්මනින් පාලනය කරන තරමට, දරුවාට සහ මවට ඇතිවන ගැටලු අඩුවෙනවා.

මේ නිසා ඔබ ගර්භණී බව දැන ගත් විගස හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්.

ගර්භණී කාලයේදී දියවැඩියාව පාලනයට ඔබ කරන්න ඕනේ මොනවාද ?

  • ඔබ ගර්භනී බව ලියාපදිංචි කරන පළමු පෙර ප්‍රසව සායනයේදී , ඒ කියන්නේ booking visit එකේදී, ඔබේ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කෙරෙනවා. සති 28න් OGTT සීනි පරීක්ෂාව සිදු කෙරෙනවා.
  • මේ පරීක්ෂණවලදී ඔබට දියවැඩියාව තිබෙන බව හඳුනාගත්තොත්, දිනපතා රුධිරයේ සීනි මට්ටම තනිව පරීක්ෂා කර බලා සටහන් කරගැනීමට උපදෙස් ලබා දෙනවා.
  • ඒ සටහන් අනුව වෛද්‍යවරයා ඔබට ලබා දෙන, ඖෂධ සහ ඉන්සියුලින් නිවැරදි මාත්‍රාවෙන් නිවැරදි වෙලාවට ගත යුතුයි.
  • වෛද්‍ය උපදෙස් අනුව ආහාර පාලනය කළ යුතුයි. මෙහිදී පැණිරස කෑම සහ පිටි කෑම අඩුකිරීම, ඒ වෙනුවට නිවුඩු බත්,රතුහාල්, බණ්ඩක්කා, පතෝල වගේ පිටි රහිත එළවලු, ගත යුතුයි.
  • සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් පවත්වන, පෙර ප්‍රසව සායනවලට සහ, ඔබට නියමිත දියවැඩියා සායන වලට අනිවාර්යයෙන් සහභාගී විය යුතුයි.

දරු ප්‍රසූතියෙන් පසු,

  • දරුවාගේ සීනි මට්ටම උග්‍ර ලෙස අඩු වෙන්න පුළුවන්. මේක වළක්වන්න දරුවාට නිතර කිරි දීම කළ යුතුයි.
  • මව විසින් සති 6-12කට පසුව රුධිරය සීනි පරීක්ෂාවක් සිදු කළ යුතුයි.
  • පසු ප්‍රසව සීනි මට්ටම සාමාන්‍යයයි නම්, අවුරුද්දකට වරක් සීනි පරීක්ෂා කළ යුතුයි.
  • සමබල ආහාර වේලක් ගෙන, ව්‍යායාම් වල නිරත වී, උසට සරිලන බරක් පවත්වා ගත යුතුයි.
  • පවුල් සැලසුම් ක්‍රමයක් ආරම්භ කර, නැවත ගැබ් ගැනීමට අදහස් කරනවා නම්, ඊට පෙර වෛද්‍යවරයා හමුවී සාකච්ඡා කළ යුතුයි.

දරුවා වෙනුවෙන් කරන්න ඕනි මොනවාද ?

ඒ වගේම, මවට ගර්භණී කාලයේ දියවැඩියාව තිබීම නිසා, දරුවා වර්ධනය වෙද්දී දරුවාටත් දියවැඩියාව වැළඳීමට, දරුවා තරබාරු වීමට අවදානමක් තියෙනවා.

මේ තත්ත්වය පාලනය කරන්න නම්, කුඩා කාලයේ පටන් දරුවාව සමබල ආහාර රටාවකට පුරුදු කරවීම, ව්‍යායාම් කරවීම, බර නියමිත මට්ටමේ පවත්වා ගැනීම කළ යුතුයි.

මේ සඳහා ඔබට අවශ්‍ය නම් පෝෂණවේදියෙකුගේ උපදෙස් ලබාගන්න පුළුවන්.

guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x
Scroll to Top