විශාදය ගැන දැනගමු !
“ඩිප්රෙෂන් (Depression)කියන්නේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරි දුර්වල මිනිස්සු, හිතින් හදාගත්ත දෙයක් විතරයි.”
මේ විදියට විශාදය, එහෙමත් නැත්නම් ඩිප්රෙෂන් ( Depression ) හෑල්ලුවට ලක් කරලා කතා කිරීම, ලංකාවේ ගොඩක් දෙනෙකුගේ පුරුද්දක්. 😕
නමුත් විශාදය ( Depression ) කියන්නේ, කෙනෙකුගේ ජීවිතය ඉතාමත් අසීරු තත්ත්වයකට පත් කරවන, ජීවිතය හානි කර ගන්නා තැනට පවා යොමු විය හැකි රෝගී තත්ත්වයක්. 😔
අපි ඕනෑම කෙනෙක්, ජීවිතයේ සමහර අසීරු අවස්ථා වලදී, දුකට, පීඩාවට පත් වෙනවා. එහෙම දැනෙන එක සාමාන්‍ය දෙයක්.
නමුත් ඔබ අධික දුකෙන්, කනස්සලු ස්වභාවයෙන් සති ගණන් ගත කරනවා නම්, එහෙම දුකින් ඉඳීම නිසා, ඔබේ එදිනෙදා වැඩ වලට බාධාවක් වෙනවා නම්, එය විශාදයේ (Depression) රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. 🫂
මීට අමතරව විශාදයේ දී (Depression) ඇතිවන රෝග ලක්ෂණ මොනවාද ?
- ඔබ සාමාන්‍යයෙන් විනෝදයට කරන දේවල් ( විනෝදාංශ වැනි දේවල් ) තවදුරටත් කිරීමට ආසාවක් නොමැති වීම.
- කිසිම දෙයක් කිරීමට සඳහා උනන්දුවක් නැති වීම, අවධානය යොමු කිරීමට නොහැකි වීම.
- හැම වේලාවේම මහන්සි ගතියක්, ශක්තියක් නොමැති ගතියක් දැනීම.
- තමන් ගැන ඇති ආත්ම විශ්වාසය නැති වීම, තමන් නොවටිනා බව සිතීම හෝ, වරදකාරී සිතිවිලි ඇතිවීම.
- නින්දට බාධා ඇති වීම, ආහාර රුචිය අඩුවීම.
- ලිංගික ආශාව අඩුවීම.
- ජීවිතයට හානිකර ගැනීමේ අදහස් ඇතිවීම.
ඉහත සඳහන් කළ, විශාදයේ (Depression) රෝග ලක්ෂණ තිබෙන බව, ඔබට හිතෙනවා නම්, ඔබ කළ යුත්තේ මොනවාද ?
✅ ඔබට දැනෙන දේ ගැන, ඔබේ හිතේ ඇති දුක, කනස්සලු ස්වභාවය ගැන, ඔබට විශ්වාස හිතවතෙකු සමඟ කතා කරන්න. ඔබේ ප්රශ්නය ගැන තවත් කෙනෙක්ට පැවසීම මඟින්, ඒ නිසා ඔබට ඇති වන පීඩාව යම් තරමකට මඟ හරවා ගන්න පුළුවන්.
✅ ඔබට පීඩාකාරී සිතිවිලි ඇති වන අවස්ථාවකදී, පහත සේවාවන් ඇමතීම මඟින්, ඔබට නොමිලේ උපදේශන සේවාවන් ලබා ගැනීමට පුළුවන්.
- ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව – 1926
- CCC Line උපකාරක සේවාව – 1333 / 077 791 5293
- ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707 308 308 / 0767 520 620
මෙම උපදේශන සේවා මඟින්, අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා, ඔබට මඟ පෙන්වනු ලබනවා.
✅ විශාදය මූලික අවස්ථාව චර්යාත්මක වෙනස්කම් මගින් මගින් පාලනය කළ හැකියි. හොඳින් ව්‍යායාම වල නිරත වීම, සමබර ආහාර වේලක් ගැනීම, හොඳින් නිදා ගැනීම, විශාදය පාලනය කිරීමට උදව් වෙනවා.
ව්‍යායාම කිරීමේදී එන්ඩෝෆින් ( Endorphin ) නම්, විශාදයට එරෙහිව ක්‍රියා කරන රසායන ද්‍රව්‍යය අපේ ඇඟ තුළ නිපදවෙනවා. ඒ නිසා දිනකට විනාඩි 20-30ක්, ඇවිදීමේ ව්‍යායාමයක් වත්, අඩුම තරමේ කළ යුතුයි.
✅ ඔබට හැකිනම්, ඔබට සතුටු හිතෙන විදියේ විනෝදාංශ වල, ගෙවතු වගා වල, ක්‍රීඩා වල හෝ සංගීත කටයුතුවල නිරත වෙන්න. එමඟින්, හිත පීඩාවට පත්කරන සිතුවිලි වලින් ඔබේ මනස දුරස් කරනවා.
⚠️️ පීඩාකාරි අවස්ථාවකදී මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් සම්පූර්ණයෙන් වළකින්න. මොකද මත්පැන් වල ඇති ඇල්කොහොල් විෂාදය වැඩි කරවන රසායන ද්‍රව්‍යයක් ( Depressant ). එමගින් විශාද තත්ත්වය දරුණු අතට හැරෙන්න පුළුවන්.
‼️ විශාදය චක්‍රයක් විදියට වැඩ කරන්න පුළුවන්. ඔබට විශාදය තිබෙන විට, ඔබ විශාදය තිබීම ගැන පීඩාවට පත්වෙන නිසා, තවදුරටත් විශාදය වැඩි වෙනවා. මෙය ඔබේ වරදක් නොව, රෝගයේ ස්වභාවය බව මතක තබා ගන්න.
ඔබ අඳුරන කෙනෙක්ට විශාදයේ ලක්ෂණ තිබෙනවා නම්, ඒ කෙනා වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් මොනවාද ?
✅ ඒ කෙනාට තිබෙන ප්‍රශ්න වලට සංවේදීව සවන් දෙන්න. ඔබ ඔහු ගැන සොයා බලන බව ඔහුට දැනෙන්න දෙන්න. ඔහුත් සමඟ කාලය ගත කරන්න.
✅ විශාදය තිබෙන කෙනෙක් තනිව එය පාලනය කිරීමට උත්සාහ කරනවා නම්, ඒ වෙනුවට ඔහුව උපදේශන සේවා සහ වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කරන්න.
⚠️️ විශාදය තිබෙන කෙනෙක්, ජීවිතයට හානියක් කරගැනීමට හිතෙන බව දැනෙනවා නම්, ඒ ගැන ඉතාම සැළකිලිමත් වෙන්න.
විශාදය “නිශ්චිතවම මේ දෙය” නිසා ඇතිවෙනවා කියා කියන්නට බැහැ. ඕනෑම කෙනෙකු ඕනෑම වෙලාවක විශාදයට ගොදුරු විය හැකියි.
නමුත් මේ ලිපියේ සඳහන් කළ චර්යාත්මක වෙනස්කම්, උපදේශන සේවා සහ, වෛද්‍ය ප්‍රතිකාර මඟින්, විශාදය සාර්ථකව පාලනය කළ හැකියි.
මේ ගැන ඔබේ ආදරණීයයන් දැනුවත් කර, විශාදය නිසා ඇතිවිය හැකි ගැටළු වලින් ඔවුන්ව මුදවා ගැනීම, ඔබේ වගකීමක්.